Thursday, November 18, 2010

පුරුෂ ලිංගය දඬුකඳේ ගසා, ස්ත්‍රී ලිංගයේ සුපර් ග්ලූ ගැල්වීමට පෙර…

ගෙවුනු සති කීපය පුරාවටම ප්‍රසිද්ධ ස්ථාන වල පෙම් කිරීම, කුඩා පරිමානයේ හෝටල් හා ලැගුම්හල් වල රැඳී සිටීම වැනි ක්‍රියාවන් වල නිරත වූ බොහෝ දෙනෙකු අත් අඩංගුවට ගැනීමේ සිද්ධීන් බොහෝ පෙදෙස් වලින් අසන්නට ලැබුනි. එසේම මේ පිලිබඳව විවිධ අය, විවිධාකාර මතවාදයන් ඉදිරිපත් කරනු දැකියහැකි විය.

සාරාංශ වශයෙන් ගතහොත්…

- ප්‍රසිද්ධියේ පෙම් කිරීම නිවැරදිද?
- අවිවාහක වැඩිහිටියන් (18+) ලිංගිකව හැසිරීම වරදක්ද?
- ඒවා අපගේ සංස්කෘතිය හා සදාචාරයට උචිතද?
වැනි දේ බහුලව කතාබහට ලක් විය.

මෙම වැටලීම්, අත් අඩංගුවට ගැනීම් අනුමත කරන අයගේ ප්‍රධානතම තර්කයන් වන්නේ, ප්‍රසිද්ධියේ පෙම් කිරීම අශෝභන බවත් ඒවා දැකීමෙන් ළමුන්ගේ සිත් දූෂණය වන බවත්, අවිවාහක යෞවනයින් ලිංගිකව හැසිරීම දැඩි ලෙස සදාචාර විරෝධී ක්‍රියාවක් බවත්ය.

මෙහිදී නැගෙන ප්‍රධානම ගැටළුව, “අශීලාචාර” කම නිරපේක්ශ දෙයක් නොව, ඉතා සාපේක්ශ සංරචකයක් වීමයි. ජපුර උපකුලපති වැන්නන්ට, විරුද්ධ ලිංගිකයකුගේ අතින් අල්ලාගෙන සිටීමත් දඬුකඳේ ගැසියයුතු තරමේ නොහොබිනා කමක් වුවත්, තවත් කෙනෙකුට එය ඉතා අහිංසක සිදුවීමක් පමනි. යුවලක් මුහුදු වෙරළක තුරුලු වී සිටීමද මේ අනුව වෙනස් ආකාර වලින් විග්‍රහ කල හැක. (මේ කතා කරන්නේ ප්‍රසිද්ධ ස්ථාන වල සංසර්ගය හැර අන් සියලු ක්‍රියාකාරකම් වල යෙදෙන ජෝඩු ගැන නොවේ. එය සීමාව ඉක්මවා යාමක් ලෙස වර්ගීකරනය කිරීම මමද අනුමත කරමි.)

නමුත් පසුගිය දිනවල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙවැනි දැඩිලෙස සීමාව ඉක්මවා ගිය පෙම්වතුන් පමණක් නොවන බවට ඇසින් දුටුවෝ සාක්ෂි දරති.

සුලු පරිමාණ හෝටල් හා ළැගුම්හල් වැටලීමද දෙයාකාරකින් විග්‍රහ හැක.

විශේෂයෙන්ම කුරුණෑගල, ගම්පහ වැනි නගරවල ඇති ළැගුම්හල් වල ආදායමෙන් වැඩි කොටස ටියුෂන් සිසු සිසුවියන්ට සේවා සැපයීම මගින් ලබා ගන්නා බව ප්‍රසිද්ධ කරුණකි. එසේම වංචාකාර ව්‍යාජ පෙම්වතුන්ට හසුව (උදා. නිරුවත් ඡායාරූප හා වීඩියෝ ප්‍රසිද්ධ කරන බවට බියවැද්දීම්.) තමුන්ගේ ජීවිත ව්‍යාකූල කරගත් යෞවනියන් ගැනද නිතර අසන්නට ලැබේ. (දේශීය “අසභ්‍ය”[?] වෙබ් අඩවි වල මෙවැනි වීඩියෝ බහුලව දැකිය හැකි අතර ඒවා වාරණය කිරීම වෙනම මාතෘකාවක් යටතේ සාකච්ඡා කල යුත්තක් බව සිතමි.)

එම නිසා උක්ත කරුන පමණක් සැලකුවහොත් මෙවැනි ළැගුම්හල් වැටලීම සාධාරනීකරනය අතිශයින්ම සරලය.

නමුත් ප්‍රශ්නය එය එසේ නොවීමය.

නොයෙකුත් හේතූන් මත වර්තමානයේ තරුණ තරුණියන් විවාහ වන වයස් සීමාව අවුරුදු 26-30 මට්ටමට පැමිණ ඇත. (මෙය විවිධ සමාජ ස්ථර වලදී වෙනස් හේතූන් මත සිදුවිය හැක. පහල ස්ථර වලදී ආර්ථික ප්‍රශ්න හෝ බාල සහෝදරියන්ගේ විවාහ ප්‍රමාදය ලෙසද, මධ්‍යම හා ඉහල ස්ථර වලදී උසස් අධ්‍යාපන වැනි හේතූන්ද ලෙසද හඳුනාගත හැක.) හේතු කාරණා කෙසේ වුවද, අවසාන ප්‍රතිඵලය ජීව විද්‍යාත්මකව ලිංගිකව පරිපූර්ණ යෞවන යෞවනියන්ට ජීවිතයේ ලිංගික ක්‍රියාකාරීත්වය උපරිමව පවතින කාලපරාසයෙන් වැඩි කොටසක් තම ලිංගික අවශ්‍යතා වැර වෑයමින් යටපත් කරගෙන වේලෙන්නට සිදුවීමයි.

මෙවැනි අයකු, තම පෙම්වතා හෝ පෙම්වතිය සමග ළැගුම්හලකට යාම ජීව විද්‍යාත්මකවද, මානුෂික වශයෙන්ද ඔවුන් සතු පරම අයිතියක් නොවේද?

අනෙක් කරුන නම්, ප්‍රසිද්ධියේ පෙම් කිරීම හා පූර්ව-විවාහ ලිංගික සම්බන්ධතා අපගේ සංස්කෘතිය හා සදාචාරය සමග සසඳන්නට බොහෝ දෙනා වෙර දරන්නේ දශක ගණනක් පැරණි ඒකක සහ මාන භාවිතයෙන් වීමයි. (and under a completely different value system) තරුණයන්ව අවුරුදු 17, 18න් ද, තරුණියන්ව යන්තම් මල්වරවී වසරකින් පමණද විවාහ කරදුන් සමයක පෙම් සබඳතා හෝ පූර්ව-විවාහ ලිංගික සම්බන්ධතා නොතිබීම අරුමයක් ද? (සරලව කියනවානම් “ලිහල බලන්න පුලුවන් මල්ල ඔබල බලන්නේ කවරනම් කැසිල්ලකටද?”)

මෙහි ඇති මාරාන්තිකම විහිලුව නම්, ප්‍රසිද්ධ ස්ථාන වල සිටින පෙම්වතුන් හා ළැගුම්හල් ගැන තීරණ ගැනීමේ බලය, අන්තිම බිංදුවතෙක්ම පිරිහුනු, ඔළමොට්ටල පොලීසි වලට ලබා දීමය. සිහි බුද්ධියෙන් කරුනු විමසා බලා ක්‍රියා කිරීමක් ඔවුන්ගෙන් කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. කළකට ඉහත, තම පෙම්වතා සමග සිනමා ශාලාවක සිටීමේ වරදට අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කල තරුණියක ලැජ්ජාව නිසා සියදිවි නසාගත් පුවතක් මහෝදරට තවමත් මතකය. (ලැජ්ජාව තියෙන තරුණියක් නම් පෙම්වතා සමග අඳුරු සිනමාශාලාවකට යනවාදැයි වැනි ප්‍රශ්නයක් උනත් නූතන ලාංකීය සුචරිතවාදීන් ඇසිය හැක.)

පෙම්වතුන්ගෙන් පොලිස් කූඩු පුරවන්නට හෝ ඔවුන්ව සදාචාර දඬුකඳේ ගැසීමට මත්තෙන් ඔවුන්ගේ පසුබිම සොයා බලා විචාරශීලීව කටයුතු කලයුතු නොවන්නේද?

No comments:

Post a Comment